අයිෆල් කුළුණ ගැන වැඩි දෙනෙක් නොදන්නා කරුණු

 


හැමෝම දන්නවනේ අයිෆල් කුළුණ කියන්නෙ මොකක්ද කියලා. ඒ වගේම අයිෆල් තියෙන්නෙ ප්රංශයේ කියලත් දන්නවා ඇතිනේ. ප්රංශය කියන්නෙ කොයි කවුරුත් සංචාරය කරන්න බොහොම කැමති රටක් වගේම අයිෆල් කුළුණ කියන්නෙ ඒ රටේ තියෙන සුවිශේෂම සංචාරක ස්ථානයක්. අයිෆල් කුළුණ ඉදිකරන්න පටන් අරන් තියෙන්නෙ 1887 ජනවාරි 28 වෙනිදා. ඒ කියන්නෙ මීට අවුරුදු 134කට කලින්. ඒ වගේම අයිෆල් කුළුණේ වැඩ ඉවර කරලා තියෙන්නෙ 1889 මාර්තු 15 වෙනිදා. යුනෙස්කෝ සංවිධානයත් ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා අයිෆල් කුළුණ. ඉතින් ගොඩක් දෙනෙක් බලන්න යන්න, ගොඩ වෙන්න කැමති අයිෆල් කුළුණ ගැන ගොඩක් දෙනෙක් නොදන්නා කරුණු කාරණා ටිකක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ.
♦️
1. හිට්ලර් සහ අයිෆල්
දෙවෙනි ලෝක යුද්ධය කළේ ජර්මානු නාසි හමුදාවන් ප්රංශය යටත් කරගත්තට පස්සේ ඇඩොල්ෆ් හිට්ලර් ප්රංශයේ සංචාරයක් සඳහා සැලසුම් කරගත්තා. ඒ සංචාරයේදී අයිෆල් කුළුණත් නගින්නට හිට්ලර් අදහස් කරගෙන ඉඳලා තියෙනවා. ඒ බව දැනගත්තු ප්රංශ ජාතිකයෝ අයිෆල් කුළුණේ සෝපාන ඔක්කොම කේබල් වලින් කපලා දාලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි ප්රංශ ජාතිකයින් යුද්ධයට අකමැති බව ඒ තුළින් තේරුම් කරවීම. කේබල් කපල දැම්මම හිට්ලර් අයිෆල් මුදුනට යන එකක් නෑ කියලයි ඔවුන් හිතුවේ. නමුත් හැමෝවම පුදුමයට පත් කරමින් හිට්ලර් අයිෆල් මුදුනට ගියාලු.
2. මිස්ටර් අයිෆල් සහ මිසිස් අයිෆල්
ඔව් එයා දැන් කසාද බැඳපු කෙනෙක්. බොහෝ දෙනෙක් නොදන්නවා ඇති ලෝක ප්රසිද්ධ අයිෆල් කුළුණ කාන්තාවක් විවාහ කරගත්තු බව. 2004 අවුරුද්දේ අයිෆල් කුළුණ නරඹන්නට යනවා Erika LaBrie කියන කාන්තාව. ඇය වෘත්තියෙන් දුනු ක්රීඩාවේ නිරත වෙන ක්රීඩිකාවක්. ඉතින් අයිෆල් නැරඹන්න ගිය අවස්ථාවේ ඇය අයිෆල්ට ආදරේ කරන්න පටන් ගන්නවා. ඒ ආදරේ ප්රතිඵලයක් විදිහට 2007 දී අයිෆල් කුළුණ සහ එරිකා විවාහ වෙනවා. ඒ අනුව එරිකාගේ නම එරිකා අයිෆල් විදිහට වෙනස් කරගන්නවා.
3. අවුරුදු විස්සකට විතරක් හදපු අයිෆල්
අද නම් අයිෆල් කුළුණ අමතක කරලා පැරිස් නුවරක් ගැන හිතන්නත් අමාරුයිනේ. හැබැයි ඔයාලා නොදන්නවා ඇති මේ නිර්මාණය ගොඩනැගුවේ මෙච්චර ලොකු කාලයක් පවතින්නවත්, පැරිසියේ ප්රධාන සංචාරක ස්ථානයක් වෙන්නවත් නෙමෙයි කියන එක. අයිෆල් කුළුණ නිර්මාණය වුණේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ප්රංශයේ පැවැත්වුණු ලෝක ප්රදර්ශනය වෙනුවෙන්. ඉතින් ඒ මූලික සැලසුම් වලදී නිර්ණය කෙරුණේ මේ ඉදිකිරීම අවුරුදු විස්සක පමණ කාලයක් සඳහා ඉදිකරන්නත් පස්සේ ඉවත් කරන්නත්. හැබැයි ටික කාලෙකින් මේකේ නිර්මාණකරුවන්ට තේරුම් යනවා මේ නිර්මාණයේ අලංකාරත්වය සහ මේකෙන් නගරයට ඇති වැදගත්කම. ඒ නිසා අදාළ නිර්මාණකරුවන් සහ නගරයේ පාලන අධිකාරිය තීරණය කරනවා මේ ඉදිකිරීම නඩත්තු කරමින් ඉදිරියට පවත්වාගෙන යන්න.
4. ඡායාරූප තහනම්
ඔයාලා කවදා හරි දැකලා ඇති අයිෆල් කුළුණේ රාත්රී කාලයේ ගත්තු ජායාරූපයක්. ඒ නිසා අයිෆල් කුළුණ රාත්රියට කොච්චර ලස්සනයිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඉතින් රාත්රියට මේක මෙච්චර ලස්සන වෙන්න හේතුව තමයි මේ කුළුණු සැකිල්ල ආලෝකමත් කරන්න විදුලි පහන් 20,000 ක් පමණ යොදා තිබීම. හැබැයි කොච්චර ලස්සන වුණත් රාත්රී කාලයේ කුළුණ ජයාරූපගත කිරීම සහ වීඩියෝ කිරීම තහනම් දෙයක්. ඒකට හේතුව අන්තර්ජාතික සම්මතය අනුව ආලෝකය කලාකෘතියක් විදිහට පිළිගන්න එක. ඉතින් විදුලිපහන් ආලෝකය නැතුව සාමාන්ය ගෘහනිර්මාණයක් විතරක් වුණාට විදුලි පහන් යොදා තියෙද්දී ඒක ගෘහ නිර්මාණයකට එහා ගිය කලා නිර්මාණයක් වෙනවා. ඒ නිසා අදාළ අංශ වල අවසරයකින් තොරව රාත්රී කාලයේ අයිෆල් කුළුණ ජයාරූපගත කිරීම තහනම්.
5. යකඩ වලට විකුණපු අයිෆල්
ඔයාලා සමහරවිට දන්නවත් ඇති ඉස්සර කාලෙ ලෝක හොරෙක් හිටියා වික්ටර් ලුස්ටිග් කියලා. ඇත්තටම මේ හොරාට ලෝක හොරෙක් කියන එක ඉතාම සාධාරණයි. මොකද මේ හොරා කළේ ලෝක හොරකම්. ඉතින් මේ ලුස්ටිග් කියන හොරා අයිෆල් කුළුණ යකඩ වලට විකුණන්න උත්සහ කළා සහ ඔහු ඒක කළා. ඒක ඔහු කළේ ප්රංශ රජයේ ඉහළ නිලධාරියෙක් විදිහට පෙනී සිටිමින්. ඔහු අයිෆල් කුළුණ යකඩ සඳහා විකුණන්න ලංසු කැඳවලා, ඊට අදාළ මුදලුත් ලබාගත්තා. ඒ විතරක්ද? ලුස්ටිග් ඒ ලංසු තියපු ව්යාපාරිකයින්ව ගනුදෙනු කතාකරගන්න කියල අයිෆල් කුළුණේ සංචරයකටත් අරගෙන ගිහින් තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ ආයේ වතාවක් ඒ වැඩේම කරන්න ගියාට ඒ පාර නම් වැඩේ සාර්ථක වුණේ නෑලු.
6. අයිෆල් කුළුණේ රහසිගත කුටිය
අයිෆල් කුළුණේ සැලසුම් නිර්මාණය කළේ ගුස්ටාව් අයිෆල් කියන පුද්ගලයා කියලා තමයි පිළිගැනෙන්නේ. ඉතින් මේ නිර්මාණය සැලසුම් කරද්දි ගුස්ටාව් රහසිගත පුද්ගලික කුටියකුත් සැලසුම් කරලා තිබුණා. ඉතින් අද වෙද්දී අයිෆල් කුළුණ මට්ටම් තුනකින් සමන්විත වෙනවා වගේම තුන්වෙනි මට්ටමේ තමයි මේ කුටිය තියෙන්නෙ. ඉතින් ගුස්ටාව් මේ කුටිය නිර්මාණය කළේ විශේෂ අමුත්තන් වෙනුවෙන්. හැබැයි අද වෙද්දී මේ කුටිය නැරඹීම සඳහා සියළු දෙනාට විවෘත වෙලා තියෙනවා.
7. කුළුණේ කොටපු නම්
ප්රංශය කියන්නෙ බොහොම හැලහැප්පීම් වලට මුහුණ දීපු රටක්. ඔයාල හැමෝම අහල ඇති ප්රංශ විප්ලවය ගැන එහෙම. ඉතින් ප්රංශය අද තියෙන තත්ත්වෙට පත් වුණේ ඒ කාලයේ ප්රංශය වෙනුවෙන් සේවය කරපු අය නිසා. ඉතින් ඒ වගේ ප්රංශය වෙනුවෙන් වැදගත් දේවල් කරපු අයගේ නම් පාරවල් වල නම් විදිහට ප්රංශය යොදාගත්තා. ඒ වගේ තවත් විද්යාඥයින් සහ ඉංජිනේරුවන් 72කගේ නම් අයිෆල් කුළුණේ කොටා ගෞරව දක්වලා තියෙනවා. කුළුණේ පළමු මහලේ බැල්කනිය වටේ මේ නම් කොටල තියෙනවා. 2010 කරපු නවීකරණ කටයුතු වලින් පස්සේ මේ නම් නැවත දෘශ්යමාන වෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලත් අයිෆල් කුළුණ නරඹන්නට ගියොත් මේ ගැනත් පොඩ්ඩක් හොයල බලන්න උත්සහ කරන්න.
{සටහන අයිතිය ® රොෂාන්}

උපුටාගැනීමකි. ලිපියේ සම්පූර්ණ අයිතිය හා ගෞරවය කතෘට හිමිවිය යුතුයි. උපුටාගැනීම - Roshan Perera Link- https://www.facebook.com/profile.php?id=100026106580453